වසර 25ක Adobe ගැටලුවට ලාංකේය පර්යේෂකයකු ගෙන් විසඳුම්



ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25ක ඉතිහාසය තුළ විස¹ගැනීමට නොහැකි ව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artificial Intelligence Laboratory - (CSAIL) පර්යේෂකයකු සමත් ව තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌.

Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමග ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot). සැම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංගවලට විශාල ලෙස බලපානවා. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස්‌ වියෑකීම නිසා කාලයත් සමග මේවායේ කාර්යක්‌ෂමතාව පහළ බසිනවා. ඒ නිසා Adobe වැනි සමාගම් සැම වසර කිහිපයකට වතාවක්‌ ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා. මෙය මාස ගණනාවක්‌ හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියක්‌.

කේතමය උපදෙස්‌ වියෑකීම පිළිබඳ මේ ගැටලුව විස¹ගැනීම සඳහා උපක්‍රමයක්‌ සෙවීම පිණිස Adobe සමාගම පසුගිය වර්ෂයේ දී MIT සරසවිය හා අත්වැල් බැඳගත් අතර ඒ යටතේ පර්යේෂණ සිදු කළ CSAILහි පශ්චාත් උපාධි අපේක්‌ෂකයකු වන චරිත් මෙන්ඩිස්‌ ලෝකයේ කිසිවකු එතෙක්‌ විස¹ නො තිබූ එම අභියෝගය ජයගන්නට සමත් වී තිබෙනවා.

චරිත් මෙන්ඩිස්‌ ප්‍රමුඛ පර්යේෂකයන් විසින් මේ ගැටලුවට විසඳුමක්‌ ලෙස නිර්මාණය කර ඇත්තේ Helium නම් පරිගණක වැඩසටහනයි. එය CSAILහි නිර්මාණයක්‌ වන Halida නම් ක්‍රමලේඛ භාෂාවක්‌ උපයෝගී කරගනිමින් නිපදවූවක්‌. මෙතෙක්‌ පරිගණක ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයක ගේ දායකත්වයෙන් මාස තුනක්‌ පමණ කාලයක්‌ වැය කරමින් කරන්නට සිදු වූ විශාල වැඩ කොටසක්‌ Helium පද්ධතිය හරහා එක්‌ දිනකින් කළ හැකි බවයි පැවසෙන්නේ. මේ හරහා විඛාදනය වූ කේත ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා වැය කිරීමට සිදු වන කාලය, ශ්‍රමය හා මුදල් වඩා ඵලදායී නව නිර්මාණයන් වෙනුවෙන් යොමු කිරීමට රූප සංස්‌කරණ මෘදුකාංග නිපදවන සමාගම්වලට අවකාශය ලැබෙනු ඇති.

මේ සොයාගැනීමට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය මාසයේ ඔරිගන්හි පැවැති ක්‍රමලේඛ භාෂා නිර්මාණකරණය හා ක්‍රියාත්මක කිරීම සඳහා වන SIGPLAN සමුළුවේ දී ඉදිරිපත් කරනු ලැබුවා.

දමිත නිපුණජිත් 

http://www.vidusara.com/2015/07/15/news2.html

Comments

Popular posts from this blog

IrfanView : Simple Windows graphic viewer

MySQL Cluster Overview